Skip to Main Navigation
කථා සහ පිටපත් 2019, සැප්තැම්බර් 27

ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සංවර්ධනය: මානව ප්‍රාග්ධනයේ පොරොන්දුව සහ විභවතාව යතාර්ථවත් කිරීම

සම්භාවනීය අමුත්තනි, සඟයනි සහ මිතුරනි. ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන සංවර්ධනය පිළිබඳ අපගේ නියමිත වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට ලැබීම මා හට මහත් ගෞරවයකි.

පසු ගිය දශක හය පුරා ශ්‍රී ලංකාව ස්වකීය ජනතාවගේ මානව ප්‍රාග්ධනය ගොඩනැඟීම කෙරෙහි අවදානය යොමුකොට ඇති අතර, වර්තමානයේ දී ඒ හා සම්බන්ධ  ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන් දකුණු ආසියානු අසල්වැසියන් හට සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා මඟ පෙන්වයි. ශ්‍රී ලංකාව මෙම ප්‍රශංසනීය ගමනෙහි ඉදිරියට යාමත් සමඟ, එහි නොසැලෙන හවුල්කරුවෙකු වීමට ලැබීම සම්බන්ධව ලෝක බැංකුව සත්‍ය වශයෙන්ම අභිමානයෙන් පසු වේ.

නමුත්, කලාපයේ ප්‍රමුඛතාව ලබා ගත්ත ද ශීඝ්‍රයෙන් පරිණාමයට ලක් වන දැනුම පදනම් කොට ගත් ආර්ථිකයක සාර්ථකත්වයට ළඟා වීමට ශ්‍රී  ලංකාවට එය ප්‍රමාණවත් වනු ඇති ද? ඔබ දන්නා පරිදි, තාක්ෂණය සහ ස්වායත්තකරණය මඟින් රැකියාවල නියම ස්වභාවය මූලික ලෙස වෙනස් කරමින්, කර්මාන්තය යළි හැඩ ගස්වමින් තිබේ.වර්තමානයේ දී ප්‍රාථමික පාසල්වල සිටින දරුවන් මේ මොහොතේ දී නොපවතින රැකියාවන්වල පවා අනාගතයේ දී නිරත වීමේ සම්භාවිතාවක් ඇත.

එසේ නම්, මෙම නැඟී එන නව ලෝකය සඳහා ශ්‍රී ලංකාව සූදානම් විය යුත්තේ කෙසේද?පැහැදිලිවම, පිළිතුරු ඇත්තේ එහි මිනිසුන් තුළ ය.එනම්, නිසැක වශයෙන්ම රටක වඩාත් වටිනාම සම්පත වන්නේ ඔවුන් බැවිනි. එහෙයින්, රටකට ස්වකීය අනාගතය සුරක්ෂිත කර ගැනීමට ගත හැකි වඩාත් අගනාම තීරණය වනුයේ ඔවුන්ගේ මානව ප්‍රාග්ධනය තුළ ආයෝජනය කිරීම ය.

එහෙත්, මානව ප්‍රාග්ධනය ලෙස අප සත්‍ය වශයෙන්ම අදහස් කරනුයේ කුමක්ද? සරල ලෙස පවසන කල, මානව ප්‍රාග්ධනය යනු මිනිසුන්ට සමාජයේ ඵලදායී සාමාජිකයන් ලෙස ඔවුන්ගේ පූර්ණ විභවතාව දක්වා ජීවත් වීමට හැකියාව ලබා දෙන, එම මිනිසුන් විසින් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ගොඩ නඟා ගත් දැනුම, කුසලතා සහ සෞඛ්‍යය යි. හුදෙක් පාසල් ගිය වර්ෂ ගණන සහ සාමාජීය හා ආර්ථික වශයෙන් අදාළ කුසලතාවන්හි සංවර්ධනය පමණක් නොව, මනා ගුණාත්මක බවින් යුත් පාසල් අධ්‍යාපනයක් සමඟ ශක්තිමත් පෝෂණයක් සහ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඊට අවශ්‍ය වේ.

රටක අනාගතය සඳහා මානව ප්‍රාග්ධනයේ අත්‍යාවශ්‍ය වැදගත්කම මත පදනම්ව, ලෝක බැංකුව විසින් 2018 දී මානව ප්‍රාග්ධන ව්‍යාපෘතිය එළිදක්වන ලදී. උපතේ සිට වැඩිහිටි විය දක්වා දරුවෙකුගේ ජීවන චක්‍රය අනුගමනය කරමින්, රටක මානව ප්‍රාග්ධනය මනිනු ලබන සහ පුරෝකථනය කරනු ලබන නව මානව ප්‍රාග්ධන දර්ශකයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

දර්ශකයේ ඇතුළත් කොට ඇති රටවල් 157න් 74වන ශ්‍රේණියට පත් වෙමින්, සියයට 58ක සමස්ත ලකුණක් රැස් කර ගනිමින්, 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රමාණයකින් පමණක් ගෝලීය වශයෙන් කාර්යසාධනය දක්වා ඇති බව වාර්තාවෙන් අනාවරණය වේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වත්මන් අධ්‍යාපන සහ සෞඛ්‍ය තත්ත්වයන් නොකඩවා පැවතිය හොත්, අද දින ශ්‍රී ලංකාවේ උපත ලබන දරුවෙකුගේ ඵලදායි බව වන්නේ , ඔවුනට පරිපූර්ණ අධ්‍යාපනයක් සහ පූර්ණ සෞඛ්‍යයක ප්‍රතිලාභ යටතේ ලැබිය හැකි ඵලදායී බවින් අඩකට මඳක් වැඩි ප්‍රමාණයකියි.

වෙනස්කම් සසඳන කල, වර්තමානයේ දී සිංගප්පූරුවේ උපදින ළමුන් හට ඔවුන්ගේ පූර්ණ විභවතාවෙන් සියයට 88ක් ළඟා කර ගත හැකි බව අපේක්ෂා කළ හැකි අතර, ජපානයේ සහ කොරියාවේ උපදින දරුවන් හට ළඟා විය හැකි වනුයේ සියයට 84කි. තවද, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත් හොඳම කාර්යසාධනය දක්වන දේශය වන අතර, එය මානව ප්‍රාග්ධන මට්ටමින් චීනය, මැලේසියාව, මොංගෝලියාව, තායිලන්තය සහ වියට්නාමය යන පෙරදිග ආසියානු රටවලට පසුගාමීව සිටියි.

මෙම වාර්තාව වඩා වැදගත් වනුයේ එය සෑම පළාතකින්ම අත්පත් කොට ගත් මානව ප්‍රාග්ධනයන් විශ්ලේෂණය කෙරෙන අතරතුර, ඒවා වඩාත් විස්තරාත්මක ඉදිරිපත් කෙරේ. අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන විෂයයන් ද්විත්වයම පළාත්වලට පැවරෙන බැවින්, පළාත් මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නිලධාරීන් හට මෙම තොරතුරු විශේෂයෙන් වඩාත් ප්‍රයෝජනවත් වන අතර, ඒ ඔස්සේ ඔවුන්ගේ ගමන් මඟ ඉදිරියට යාමට සැලසුම් කර ගැනීමට මෙන්ම, ඒ අනුව ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට මින් හැකියාව ලැබේ.

සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා එහි මානව ප්‍රාග්ධනය නැවුම් සහ ඉහළ මට්ටමක් කරා සංවර්ධනය කිරීම ප්‍රධාන වේ. දේශයේ පරිපූර්ණ පොරොන්දුව සහ ශක්‍යතාව යතාර්ථවත් කරනු වස්, රජය සමඟ ඉදිරියටත් අඛණ්ඩව අපගේ කටයුතු කර ගෙන යාමට අපි බලාපොරොත්තු වන්නෙමු.

ස්තූතියි

Api
Api